අත්තනගල්ල යන නම ඇසූ පමණින් අපට මතක් වන්නේ තම හිස පවා අනුන්ගේ යහපත වෙනුවෙන් දන් දුන් සිරිසඟබෝ රජතුමා පිළිබඳ පුරාවෘත්තයයි. එම පුරවරයේ නමත් පටලවාගෙන අප මේ කරන්නට තතනන්නේ බණක් කියන්නට නොවේ.
පිළිකුල් සහගත දෙයක් දැක විරෝධය පළ කරන්නට සුදුසු ක්‍රමයක් සොයමින් ලතැවෙන පිටකොටුවට වහාම සිහිවන්නේ යලට මහට පමණක් ලියවෙන බ්ලොග් එකය. එබැවින් මාතෘකාවට නිමිති වූයේ කුමක්දැයි පහත ලියැවිල්ල කියවීමෙන් පාඨකයන්ට වටහා ගත හැකි වනු ඇත.
***********************************************************
නිමිත්ත 1 –
පහත ඡායාරූපය (වෙළඳ දැන්වීම) පිටකොටුව දුටුවේ තමන්ගේ වත් පොතේ (ෆේස්බුක්) බිත්තිය (වෝල්) මත සටහන් ව තිබියදීය.
එහි යම්කිසි වෙබ් අඩවියක නමක් සටහන්ව තිබූ බැවින් නිකමට අදාල වෙබ් අඩවිය පිරික්සා බැලීමට පිටකොටුවට සිත් විය. පහත දැක්වෙන්නේ එම වෙබ් අඩවියේ පළවී තිබූ නවතම ප්‍රවෘත්තියයි.
නිමිත්ත 2 –
” ඊයේ පෙ.ව 11 සිට http://www.attanagalla.com වෙබ් අඩවිය බිඳවැටීමකට ලක්වුනා…. මෙයට හේතු වුනේ වැඩි පාඨක ප්‍රමානයක් එකවර පිවිසීමට උත්සහ දැරීමයි….. ආරම්භක අප්‍රේල් 13 දින සිට මේ දක්වා 4500 පමණ පාඨක ප්‍රමාණයක් අපහා එක්වූ අතර ඊයේ දිනයට පමණක් 42000ක පාඨක ප්‍රමාණයක් පිවිසීමට උත්සහ දරා ඇති බව google හා facebook වාර්ථා අනුව පෙනීගියා….. වෙබ් අඩවිය පරීක්ෂන මට්ටමින් සයිබර් අවකාශයේ ඉතා අඩු ඉඩ ප්‍රමාණයක් මිලදීගෙන ආරම්භකල අතර අපහා එක්වූ පාඨක ප්‍රමාණය එයට දරාගත නොහැකිවුනා…. නමුත් අප තාක්ෂණ කණ්ඩායම දැඩි වෙහෙසක් දරා ඔබ වෙනුවෙන් නැවතත් වෙබ් අඩවිය යථා තත්වයට ගෙන ආ අතර නැවත මෙවන් අපහසුතාවයකට ඔබ පත් නොවන බවට ව්‍යාපෘති කළමණාකරු සහතිකවෙයි. ”
පසු විපරම –
මේ අනුව අදාල වෙබ් අඩවියේ “ව්‍යාපෘති කළමනාකරු” ට අනුව තමන්ගේ වෙබ් අඩිවියේ හිට්ස් ගණන දිනක් දෙදිනක් තුල රොකට් වේගයෙන් ඉහළ ගොස් ඇතත් එයට හේතුව කුමක්දැයි පැවසීමට තරම් කළමනාකරුගේ දිව නොනැමෙන් බවක් අපට නිකමට වගේ පෙනී යයි.
දැනටමත් බුද්ධිමත් පාඨකයන්ට නම් එයට හේතුව අවබෝධ කර ගැනීමට හැකියාව ලැබී ඇතැයි අප විශ්වාස කරමු. මන්ද ඉහත වෙළඳ දැන්වීම ලියා ඇති ආකාරයම අතිශය ප්‍රාථමික හා ජුගුප්සාජනකය. ඛේදජනක ඉරණමකට ගොදුරුවූ අහිංසක දරුවාගේ මරණය විකුණාගෙන කෑමට අවශ්‍යම වූවා නම් මීට වඩා ශිෂ්ඨ ආකාරයට එය කළ නොහැකි වූයේ මන්දැයි පිටකොටුවට ඇතිවන්නේ සාධාරණ කළකිරීමක් නොවේද? එය විකුණාගෙන කෑවා මදිවාට එම මාකටින් පාර සාර්ථකවූ බවට පාරම්බෑම කෙතරම් මානුෂික ද?
අප මේ ජීවත්වන්නේ තමන්ගේ බිරිඳ, දරුවන් හෝ ළමයින්වද විකුණාගෙන කන ආකාරයේ සමාජයක් බවට දැනටමත් පරිවර්තනයවී ඇති හෝ පරිවර්තනය වෙමින් පවතින බව සමාජයකය. ස්වර්ණවාහිනී/සිරස වැනි තෝරුන් මෝරුන්ද එසේ කරත් නම් මේ දෙකේ පහේ වෙබ් අඩවි කාරයන් එසේ කිරීම ගැන ළතැවන්නේ කුමටදැයි බුද්ධිමත් පාඨකයකු ප්‍රශ්න කලොත් පිටකොටුවට කටඋත්තරත් නැත. මන්ද වමනය කිරීමට ඇති අකමැත්ත නිසා දැන් නොබලන නමුත් ස්වර්ණවාහිනියේ පෙන්වන ලයිව් ඇට් එයිට් නැමැති පුවත් වැඩසටහනේ (ටෙලිනාට්‍යයේ) නිවේදිකාව (නිළියද) මේ පුවත රඟදක්වා ඉදිරිපත් කරන්නට ඇති (ඔළුව ඇලකරමින් කට ඇද කරමින් නාහෙන් අඬමින්) ආකාරය උපකල්පනය කර ගැනීම පිටකොටුවට අපහසු නොවන බැවිනි.
එනිසා මෙය ලියන වෙලාවේ ඇතිවූ ජුගුප්සාව නිසා ලියනවා මිස මේවා ලිවීමෙන් පලක් නැති බව පිටකොටුව ද දන්නා අතර පාඨකයන්ගේ කාලය කා දැමීමක් සිදු වූවා නම් බලවත් කණගාටුව පළ කර සිටිමු.