මෙන්න ගන්න ආසනික් ——–

ආසනික් කථාව කරළියට පැමිණ දැන් කලක් ගතවී ඇත. කලින් විද්‍යාව කරන්නන් පමණක් ගෝචරවූ ආසනික් නැමැති මූලද්‍රව්‍යය හෝ රසායනිකය දැන් පේව්මන්ට් එකේ හා කඩපිළේ ද කතා බහ කරන මාතෘකාවක් වී ඇත.

විද්‍යාඥයෝද, විද්‍යාර්ථීහුද දෙපිළ බෙදී ආසනික් ගැන සංවාද කරති. කෙසේ නමුත් රජරට මියයමින් පවතින හා මිය යාමට නියමිත වකුගඩු රෝගීන්ට සහනයක් සැලසෙන ආරංචියක් තවම ලැබී ඇත්දැයි සැක සහිතය.

ජලයේ හෝ හාලේ හෝ පසේ හෝ ආසනික් පැවතීම පිළිබඳ සත්‍ය අසත්‍යතාවය පැත්තකින් තැබුවත් මේ ආසනික් කථාව කරළියට පැමිණීම නිසා සිදුවූ අයහපතට වඩා යහපත විශාලයි. ඉන් ප්‍රධාන වන්නේ උවදුරට ලක්වූ ජනතාවගේ කථා පුවතට ලැබුණ අසමාන්‍ය ප්‍රචාරයයි. මෙවැනි උවදුරක් පවතින බවටත්, එයට පිළියමක් මෙතෙක් නොලැබී ඇති බවත් යන සත්‍යය ජන සමාජයේ කථා බහට ලක් වීම වැදගත්ය. මන්ද අසරණවූ වකුගඩු රෝගීන්ට සාධාරණයද, යුක්තියද, ජීවිතය ද ලබා දිය යුතු බැවිනි.

කෘමිනාශක වල ආසනික් ඇතැයි කීමෙන් පසු නටන ලද නෙයියාඩගම සැක කටයුතුය. කැළණිය පර්යේෂකයන් භාවිතා කළ ක්‍රමවේදයත්, නාථ හෝ වෙන මොනයම් දෙයියෙක්ගේ මැදිහත් වීමද පැත්තකින් තැබුවත් අදාල කතිකාව මතුවීමෙන් පසු වගකිවයුත්තන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ අපට කිසිම පැහැදීමක් නැත.

දනි පනි ගා සියළු වෙළඳ තරඟයන් නවතා එකමුතුවූ කෘමිනාශක වෙළෙන්දන් දැන් කියන්නේ කාර්මික හා තාක්ෂණ පර්යේෂණ ආයතනයේ සිදු කළ පරීක්ෂණද ඔවුන්ට පිළිගත නොහැකි බවය. කොටින්ම කියන්නේ නම් ලංකාවේ කිසිම පර්යේෂණාගාරයක කරන ලද පරීක්ෂණ නිරවද්‍ය බවට ඔවුන් නොපිළිගන්නා බවයි. දැන් මේ කෘමිනාශක වෙළෙන්දෝ රටේ නීතියත් අභියෝගයට ලක් කරන තරම් බලවත්වී ඇත. දේශපාලකයෝද ඔවුන්ගේ පැත්තේය.  කැළණිය පර්යේෂකයන්ට විරුද්ධ නඩු පවරන බවට ගෝරනාඩු කළත් නඩුවක් ෆයිල් නොකරන බව ඉරහඳ සේ ඒකාන්තය.

පර්යේෂණ ක්‍රමවේදයන්  හෝ දේව මැදිහත්වීම පසෙක තබා බැලූ විට අපට පෙනෙන විදියට නම් කැළණිය පර්යේෂකයන්ගේ නිගමනයට හොඳ තාර්කික පදනමක් ඇත. වකුගඩු රෝගය රජරට ගිලගත් කාල රාමුවත්, කෘමිනාශක වෙළෙන්දන්ගේ අලෙවි ඉතිහාසයත්, කෘමිනාශක-පස හා ජලය යන ත්‍රිත්වයේ සංයෝගයෙන් වකුගඩු මාරයා පහළ වන බවටත් ඔවුන් දක්වන අදහස බැහැර කරන්නට ඉඩ නොදිය යුතු බව අපේ අදහසය. අනෙක් අතට එයට අභියෝග කළ යුත්තේ බයිලා ගැසීමෙන් නොව එම නිගමනයන් නිවැරදි නොවන බවට පිළිගත හැකි පර්යේෂණාගාර සාක්ෂි ඉදිරිපත් කිරීමෙනි. ඔවුන්ගේ ක්‍රමවේදයන් වැරදි නම් එහි සාවද්‍ය බව නිවැරදි ක්‍රමයකින් ඔප්පු කර පෙන්වීමය.

පර්යේෂණ කිරීම සඳහා මෙරට යන්ත්‍ර සූත්‍ර ප්‍රමාණවත් නැති නම් පිටරටින් ගෙන්නනවාට කවුරුවත් විරුද්ධ වන්නේ නැත. කෘමිනාශක වෙළෙන්දන් පිටරට “ස්වාධීන” ආයතනයකින්ම පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ ඇයි? (අපි නොදන්න ස්වාධීන පරීක්ෂණ ආයතන)

සරල සත්‍යය නම් වැඩේ යම් කිසි විදියකින් පත්තු වී ඇති බවත්, එය වසා දැමීමට බහුජාතික බූවල්ලන් එක පෙළට සිට ගෙන සන්ධාන ගතවී ඇති බවත්ය. අනෙක් අතට රටේ ප්‍රශ්න මතුවීම පාලකයන්ට ගැටළුවකි. රජරට වැසියෝ වකුගඩු රෝගයෙන් මියයාම අදාල අයගේ ඥාතීන්ට පමණක් දැනෙන රටට නොදැනෙන ගැටළුවකි. එනමුත් ආසනික් කථාබහද එමඟින් කෘෂිකාර්මික නිෂ්පාදනයන්ට සිදුවිය හැකි බලපෑම් ද ජනතාවටද එමඟින් ආණ්ඩුවටද දැනෙන දෑය. එබැවින් ප්‍රශ්නය යට යනවාට ආණ්ඩුවද පැනලා කැමතිය.

ලෝකයේ ඕනෑම තැනකින් ඕනෑම දහජරාවක් ගෙනවිත් රිසිසේ විකුණන්නට අපගේ මව්බිමේ “ප්‍රජාතාන්ත්‍රවාදී” නිදහසක් ඇත. (අවශ්‍ය නම් අවශ්‍ය තැන්වලට මුදල් ටිකක් පොම්ප කිරීම එම කටයුතු නිදහසේ දිගටම කරගෙන යාමට පහසුවකි) වකුගඩු බැරිනම් ඕන අවයවයක් නරක්වී අනුරාධපුරයේ ගොවි පවුල්වල එවුන් මලාට කොළඹ ඉන්න අපිට පාන්ද? අපි කෘමිනාශක වෙළෙඳ කොම්පැණියක සුදු කර පටි රස්සාවක් කරමින් ආසනික් විකුණමින් සුවසේ ජීවත් වෙමු.

ආමෙන් !!!!!!!!!!!!!!!!!!!!!

This entry was posted in Uncategorized and tagged , , , , , , , , , , , , , , . Bookmark the permalink.

ප්‍රතිචාරයක් ලබාදෙන්න